ජාතිවාදය මුලිනුපුටා දැමිය යුතුය.

මේ මැතිවරණයේ දී මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාර්ශ්වය වැඩි බරත් තබා තිබෙන්නේ සිංහල බෞද්ධ ඡන්ද පදනම මත බව පෙනෙයි. ඔවුන් එම ඡන්ද පදනම ශක්තිමත් කරගැනීම සඳහා ජාතිවාදය හැකි සෑම ආකාරයකින් ම මුදුනට ගන්නා බවද පෙනෙයි.

ජාතිවාදය හලාහළ විෂකි. ඒ හලාහළ විෂ නිසා ලංකාව ඇති තරම් දුක් පීඩා මේ වන විටත් විඳ තිබෙන්නේ ය. එසේ තිබිය දී පවා ඒවායින් පාඩම් උගෙන නොගෙන නැවත වරක් රටේ ජනතාවගේ සිත් තුළට ඒ විෂ ඇතුළු කිරීමට මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රමුඛ පාර්ශ්වය ගන්නා උත්සාහය නියත වශයෙන් ම පරාජය කළ යුතු ය.

ලංකාවේ මැතිවරණ උණුසුම නැගී එන සෑම අවස්ථාවක දී ම උතුරේ හෝ නැගෙනහිර දෙමළ දේශපාලන පක්‍ෂ සමග එජාපය එක්ව අත්සන් කර ඇතැ’යි කියන හොර ගිවිසුම් ගැන ද කියැවෙයි. මේ හොර ගිවිසුම් කතා ඉතාමත් සූක්‍ෂ්මව ගොතන ලද අමූලික අසත්‍යයන් බවට පැහැදිලි සංකේතයක් වන්නේ පසුගිය ජනාධිපතිවරණයේ දී තිස්ස අත්තනායක මහතා මුහුණ දුන් ඉරණම යි. හොර ගිවිසුම් කතාව කරළියට ගෙන ඒමට හොර අත්සන් යෙදූ ලේඛනයක් ද සකසා ප‍්‍රසිද්ධ කළ අත්තනායක මහතා අදත් තමා කළ ඒ නිහීන ක‍්‍රියාව ගැනව පසුතැවිලි වන වගක් පෙනෙන්නට නැත. එසේ තිබිය දී මේ මැතිවරණයේදී ද දෙමළ ජාතික සන්ධානය සමග අත්සන් කර ඇති හොර ගිවිසුම් ගැනත්, ඩයස්පෝරාවේ කුමන්ත‍්‍රණ ගැනත් යහමින් අසන්නට ලැබෙයි. මහින්ද රාජපක්‍ෂ මහතා කියන්නේ, එජාපය මැතිවරණයෙන් හවුල් ආණ්ඩුවක් හදන්නට සැලසුම් කර ඇති බවත්, ඒ හවුල් ආණ්ඩුව හදන්නේ බෙදුම්වාදී න්‍යාය පත‍්‍රයක් ඇති දෙමළ සන්ධානය සමග බවත් ය. මේ ආකාරයෙන් ඔහු කියන්නේ කුමක් ද? දෙමළ සන්ධානය වැනි දෙමළ ජනතාව නියෝජනය කරන දේශපාලන ව්‍යාපාර සමග කිසිම සහයෝගිතාවක් නොපවත්වා ඔවුන් තව දුරටත් කොන්කර තැබිය යුතු බව ද? ඔවුන් හැමදා ම බෙදුම්වාදීන් කියා හංවඩු ගැසිය යුතු බව ද? ඔවුන්ට රටේ ප‍්‍රධාන දේශපාලන ප‍්‍රවණතා සමග එක් වීමට කිසි දා ඉඩක් නොදිය යුතු බව ද?

දෙමළ ජාතික සන්ධානයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ ෆෙඩරල් ඉල්ලීමක් ඇති බවට වූ ප‍්‍රවෘත්තියක් පසුගිය සතියේ සිංහල පුවත්පත්වල ප‍්‍රධාන සිරස්තලය ලෙසින් ද පළ විය. දෙමළ සන්ධානය ෆෙඩරල් ඉල්ලූවා ම වූවත්, ෆෙඩරල් යනු එක් භූමියක බලය බෙදා ගැනීමේ දැනට ලෝකයේ පවත්නා ප‍්‍රශස්ත ම ක‍්‍රමය බවට දැනුමක් නැති මේ මාධ්‍ය තමන්ගේ සිරස්තලවලින් උලූප්පන්නට හදන්නේ දෙමළ සන්ධානය බෙදුම්වාදී මාර්ගයේ ම තවමත් ගමන් කරන බව ය.

බල කාමය තේරුම් ගත හැකි දෙයකි. එහෙත්, බලයට ඇති ආශාව සපුරා ගැනීම සඳහා ශිෂ්ට සමාජය පිළිකුල් කරන නිහීන ජාතිවාදය ඉහළට එසවීම නම් සමාව නොදිය යුතු පාප කර්මයකි.

– See more at: http://ravaya.lk/?p=9495#sthash.gC7IFx5O.dpuf

Advertisements
This entry was posted in Admin, Link. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s